රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය ආරම්භ වී වසර හතරකට වැඩි කාලයක් ගතවී ඇති පසුබිමක, යුක්‍රේනය විසින් මොස්කව් නුවරට එල්ල කරන ලද විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය ඊයේ (18) දිනයේදී වාර්තා විය. මෙම ප්‍රහාරයත් සමඟ මොස්කව් අහස කළු දුම් වළාවන්ගෙන් වැසී ගිය අතර, රුසියාවේ අගනුවර පිහිටි ගුවන් තොටුපොළ හතරක්ම වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බලධාරීන්ට සිදුවිය.
ප්‍රහාරය හේතුවෙන් මිලියන 13ක් වෙසෙන මොස්කව් අගනුවර වටා ඇති ප්‍රධාන මහා මාර්ගයක කොටසක් ද තාවකාලිකව වසා දැමිණි. මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති වුවද, යුද්ධයේ බලපෑමෙන් රුසියානු සමාජය ආරක්ෂා කර ගැනීමට ක්‍රෙම්ලිනය සතු හැකියාව දිනෙන් දින ක්ෂය වෙමින් පවතින බවට රුසියානු පුරවැසියන් අතර බියක් මතු වී තිබේ.
මේ අතර, යුක්‍රේනය විසින් රුසියාවේ තෙල් පිරිපහදු සහ සැකසුම් මධ්‍යස්ථාන වෙත දිගින් දිගටම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත. මේ නිසා දින ගණනාවක් පුරා රුසියාවේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර, ඉන්ධන සලාක ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ.
පළමු ලෝක යුද්ධයටත් වඩා දිගු කාලයක් පුරා ඇදී යන මෙම යුද්ධය, මෙම නව ප්‍රහාර මාලාවත් සමඟ එහි තීරණාත්මක සහ නව අදියරකට එළඹෙමින් තිබෙන බව විචාරකයන් පෙන්වා දෙයි.
















