කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වය වන්නේ කෙසෙල් කඳ කර්මාන්තශාලාවට ඇතුළු කළ පසු ඉන් නූල් නිපදවා, ඒවා වර්ණ ගන්වා අවසානයේ සම්පූර්ණ නිමි ඇඳුමක් ලෙස පිටතට පැමිණීමේ නවීන තාක්ෂණික ක්‍රියාවලියයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, “කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා” යනුවෙනි.
චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා කෙසෙල් වගාකරුවන්ට තම අස්වැන්නට අමතරව කෙසෙල් කඳ සඳහා ද ඉහළ වෙළඳපොළ වටිනාකමක් හිමිවන බව අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි. මෙම කර්මාන්තශාලාව සඳහා දැනට භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි පරිශ්‍රයක් යොදා ගැනීමට නියමිතය.
















