සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදුන් 400කට අධික ගිනි අවි තොගයක් සම්බන්ධයෙන්, එම ගනුදෙනුව එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නියෝග මත සිදු වූවක් බවට අසත්‍ය ප්‍රකාශයක් කරන ලෙස උදය ගම්මන්පිල මහතා ඔහුට උපදෙස් දී ඇති බව සරත් ෆොන්සේකා හෙළි කරයි.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පිල්ලෙයාන් පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. ආරක්ෂක අමාත්‍යාංශය හරහා පිල්ලෙයාන් කල්ලියට T-56 ගිනි අවි 356ක්, 9mm වර්ගයේ පිස්තෝල 36ක් සහ මයික්‍රෝ (Micro) වර්ගයේ ගිනි අවියක් ලබා දී තිබූ බවත්, එම අවි තොගය මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත නැවත භාර දී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දී ඇත.
තම සේවාදායකයාට මෙලෙස සැලසුම් සහගතව අසත්‍ය ප්‍රකාශයක් කිරීමට උපදෙස් ලබා දීම බරපතල නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පෙන්වා දෙති. මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිලි කිරීමට හැකියාව පවතින බවද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
















