ඇඟිල්ලක් උඩ ඉඳගෙන ඉන්නා මදුරුවෙක් ලෙස පෙනුණත්, මෙය සැබෑ කෘමියෙක් නොවේ. ලොවම මවිතයට පත් කරමින්, චීනයේ හුනාන් පළාතේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (National University of Defense Technology) පර්යේෂකයන් විසින් නිර්මාණය කරන ලද අතිශය කුඩා ‘මයික්‍රෝ ගුවන් යානයක්’ (Micro Aerial Vehicle) පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වේ.
මෙම ඩ්‍රෝන් යානය කළු සිහින් ශරීරයක්, පත්‍ර වැනි කුඩා පියාපත් දෙකක් සහ සිහින් කකුල් තුනකින් සමන්විත වන අතර, දුරින් බලන විට සැබෑ මදුරුවෙකුගෙන් වෙන් කර හඳුනා ගැනීම අසීරුය. දිගින් සෙන්ටිමීටර් 2ක් පමණ වන මෙහි බර ග්‍රෑම් 0.3ක් තරම් අතිශය කුඩා අගයක් ගනී. මෙය ඇඟිලි දෙකක් අතර තබා ගැනීමට පවා හැකි තරම් කුඩා වන අතර ස්මාර්ට් දුරකථනයක් හරහා පාලනය කළ හැකි බවටද තොරතුරු වාර්තා වේ.
පසුගිය වසරේ (2025) ජූනි මාසයේදී චීන රාජ්‍ය හමුදා නාලිකාවකදී සිසුවෙකු වන ලියැං හෙෂියැං විසින් මෙය ප්‍රදර්ශනය කරන ලදී. යුදබිම්වල තොරතුරු රැස් කිරීම, පටු මංපෙත්, ගොඩනැගිලි ඇතුළත සහ සාමාන්‍ය ඩ්‍රෝන් යානයකට ඇතුළු විය නොහැකි ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා මෙය ඉතා සුදුසු බව පර්යේෂකයන් පවසයි.
මෙම දියුණුව තාක්ෂණික අතින් විශාල පිම්මක් වුවද, “අදම ලෝකය පුරා නොපෙනෙන ඔත්තු මදුරුවෝ සැරිසරනවා” යැයි බිය විය යුතු නැත. මෙය දැනට පර්යේෂණාගාර මට්ටමේ පවතින ආකෘතියකි. බැටරි ආයු කාලය, සුළඟට ඔරොත්තු දීම, දත්ත සම්ප්‍රේෂණය සහ බර දරාගැනීමේ හැකියාව වැනි ප්‍රායෝගික අභියෝග රැසක් මෙම ඩ්‍රෝන් යානය ඉදිරියේ තවමත් පවතී. එමෙන්ම මෙය නිල වශයෙන් යුද මෙහෙයුම් සඳහා යොදා ගන්නා අවි පද්ධතියක් ලෙස තහවුරු වී නොමැත.
කෙසේ වෙතත්, මෙය අනාගත නිරීක්ෂණ තාක්ෂණය කොතරම් කුඩා සහ හඳුනා ගැනීමට අපහසු මට්ටමකට විකාශනය වෙමින් පවතිනවාද යන්න පෙන්වා දෙන ප්‍රබල සංඥාවකි.
















