බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවති විස්සයි20 තරගාවලියේදී දැක්වූ විශිෂ්ට පන්දු යැවීමේ දස්කම් හේතුවෙන්, ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විස්සයි20 පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ක්‍රීඩකයින් 10 දෙනා අතරට එක්ව තිබේ.
අදාළ තරගාවලියේදී කඩුලු 7ක් දවා ගනිමින් තම පන්දු යැවීමේ රිද්මය ලෝකයටම පෙන්වා දුන් වනිඳු, නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6කින් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.
මේ අතර, ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරමින් මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර ද ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ දෙසට සාර්ථක ගමනක් ආරම්භ කර ඇත. පන්දු යවන්නන් අතර ඔවුන් තබා ඇති මෙම දියුණුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරග සඳහා විශාල ශක්තියක් වනු නොඅනුමානය.
ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය සහ වේග පන්දු බලඇණිය මෙලෙස ජාත්‍යන්තර තලයේ දස්කම් දැක්වීම, ඉදිරි ලෝක කුසලාන තරගාවලි සහ ප්‍රධාන තරගාවලි සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේදී ඉතා වැදගත් සාධකයක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.
















