පොල් වගාකරුවන්ට තම අස්වැන්න සඳහා සාධාරණ අවම මිලක් (Floor Price) ලබාදීම සහ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට පොල් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී පොල් මිල නියාමනය කිරීම සහ පොල් කර්මාන්තයේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලූ අතර, වගාකරුවන්ගේ ආර්ථික ශක්තිය ආරක්ෂා කරමින්ම වෙළෙඳපොළ තුළ පවතින පොල් මිලෙහි පවතින අස්ථාවරත්වය අවම කිරීමට අවශ්‍ය තීරණ රැසක් ගනු ලැබීය.
පොල් වගාකරුවාගේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා පවතින අතරමැදි ගැටලු මගහැර, වඩාත් විධිමත් සැපයුම් දාමයක් නිර්මාණය කිරීම මගින් සාධාරණ මිලක් ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ. පොල් ආශ්‍රිත කර්මාන්ත දිරිගැන්වීම සහ නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් දිගුකාලීන විසඳුම් වෙත එළඹීම අමාත්‍යවරයාගේ මූලික අරමුණ වී ඇත.
















