විදේශ ප්‍රේෂණ නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින්, ආනයනකරුවන් ඉලක්ක කර ගනිමින් නව නීති මාලාවක් අද (19) සිට නිල වශයෙන් බලාත්මක කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු “2026 අංක 06 දරන ආනයන හා අපනයන (පාලන) නියෝග” යටතේ මෙම දැඩි පියවර ගෙන ඇත.
මෙම නව නීතියට අනුව, ඕනෑම විදේශ ප්‍රේෂණයක් හෙවත් පූර්ව ගෙවීමක් (Advance Payment) සිදුකිරීමට නම්, අදාළ ආනයනකරු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 8(4) නියාමනය යටතේ “පූර්ව ගෙවීම් සඳහා සුදුසුකම් ලත් ආනයනකරුවෙකු” ලෙස අනිවාර්යයෙන්ම ලියාපදිංචි වී සිටිය යුතුය. එසේ නොමැති ආනයනකරුවන් සඳහා පූර්ව ගෙවීම් සිදු කිරීම අද සිට වාණිජ බැංකුවලට නීතියෙන් තහනම් කර ඇත.
එමෙන්ම, සෑම ගනුදෙනුවකටම අනන්‍ය අංකයක් ලබා දීම බැංකුවලට පැවරී ඇති අතර, ආනයනකරුගේ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN), ප්‍රතිලාභියාගේ ගිණුම් තොරතුරු සහ ආනයනික භාණ්ඩ පිළිබඳ සියලු විස්තර රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දීම ද අනිවාර්ය වේ.
මෙම පියවර මගින් ආනයන ප්‍රේෂණ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම සහ රටින් පිටතට සිදුවන විදේශ විනිමය ගලායාම විධිමත්ව පාලනය කිරීම රජයේ මූලික අරමුණයි. ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් මේ පිළිබඳව අවශ්‍ය සියලු මෙහෙයුම් උපදෙස් අද සිට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වාණිජ බැංකු වෙත නිකුත් කරනු ඇත.
















