තම සේවය තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව පවසමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කතානායකවරයා ඇතුළු පාර්ශ්වයන්ට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජූලි 20 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ මෙම පෙත්සම අද (19) කැඳවනු ලැබූ අතර, එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණය කිසිදු නීතිමය පදනමකින් තොර බව සඳහන් කළේය.
තම සේවය තහනම් කිරීම තුළින් තමන්ට සිදුව ඇති අසාධාරණය මඟහැරීමටත්, අදාළ තීරණය අවලංගු කර නිවැරදි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. මෙම නඩුවට අදාළව සියලු පාර්ශ්වයන්ට කරුණු තහවුරු කිරීමට අවස්ථාව ලබා දෙමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
















