ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ස්වාධීන අයවැය විශ්ලේෂණ හැකියාවන් වර්ධනය කිරීම සහ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීම අරමුණු කරගනිමින්, ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත පිරිසක් සහභාගී වූ සතියක තාක්ෂණික සහාය හුවමාරු වැඩසටහනක් සාර්ථකව නිමාවට පත් විය. ඇමරිකානු කොංග්‍රසයේ ‘House Democracy Partnership’ සහ ‘Congressional Budget Office’ එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන ජූනි 08 සිට 12 දක්වා පැවැත්වුණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව තුළ ස්වාධීන අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූලික සැලැස්මක් සකස් කිරීමයි. මූල්‍ය අධීක්ෂණය, අයවැය විශ්ලේෂණය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් දැනුම්වත් කිරීම මෙන්ම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වා පාර්ලිමේන්තු අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
මීට අමතරව අයවැය විශ්ලේෂණ කටයුතු සඳහා තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව කාරක සභා කාර්ය මණ්ඩලය වෙත විශේෂ පුහුණුවක් ද මෙහිදී ලබා දෙන ලදී. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩාත් විනිවිදභාවයෙන් සහ වගකීම් සහගතව පවත්වාගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම් ලැබුණු අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තු අයවැය ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අඩිතාලම දැමීය.
















