2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ, සේවා සහ ආදායම් මත පනවා ඇති බදු විශාල වශයෙන් ඉහළ නංවා තිබුණද, දුම්වැටි මත පනවන බදු ප්‍රතිශතය අඩුවීමක් සිදුවී ඇති බව වාර්තා වේ. 2021 සිට 2026 දක්වා කාලය තුළ පුද්ගලික සහ ආයතනික ආදායම් බදු ඉහළ ගිය අතර, වැට් බද්ද 8% සිට 18% දක්වාත්, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5%ක් ලෙසත් අමතරව අය කෙරේ. කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ දුම්වැටියක සිල්ලර මිලෙන් අය කරන බදු ප්‍රතිශතය සාමාන්‍යයෙන් 7.2%කින් පහත වැටී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට අනුව දුම්වැටියක සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක් බදු වශයෙන් අය කළ යුතුය. 2018 වසරේදී ශ්‍රී ලංකාව එම අගය වන 74%කට ආසන්නව සිටියද, 2026 වන විට එය 66.8% දක්වා පහත වැටී තිබේ. දුම්වැටි මත පනවන සුරාබදු ස්ථාවර රුපියල් ප්‍රමාණයක් ලෙස පවතින බැවින්, උද්ධමනය සහ නිෂ්පාදකයින් මිල ඉහළ නංවන විට බදු ප්‍රතිශතය ස්වයංක්‍රීයව අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම අකාර්යක්ෂමතාව හේතුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 17.3ක අතිරේක ආදායමක් අහිමි වී ඇති බව ගණන් බලා තිබේ. මෙම මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අයවැය මෙන් 1.2 ගුණයක් සහ පෝෂණ වැඩසටහන් සඳහා වෙන් කරන මුදල් මෙන් 1.3 ගුණයක් වේ. දුම්වැටි සුරාබදු වහාම සංශෝධනය කිරීම මුදල් අමාත්‍යවරයාගේ විෂය පථයට යටත් වන අතර, ඒ සඳහා නව නීති සම්පාදනය කිරීමකින් තොරව ගැසට් නිවේදනයක් මගින් කඩිනමින් සිදු කළ හැකි බව පෙන්වා දෙනු ලැබේ.
















