හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෝසම අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍ය බව පවසමින් සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම ඉල්ලීම සිදු කළේය. කෙසේ වෙතත්, නඩුව පරීක්ෂා කිරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ මෙම ඉල්ලීම තහවුරු කිරීමට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය මහාධිකරණය සඳහා සකස් කළ එකක් බවයි. ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩු කටයුත්ත සඳහාම වෙන් වූ නිසි දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුව පවරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 30කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසිනි. නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ නිසි ලේඛන සහිතව ඉදිරි දිනයක අල්ලස් කොමිසමට ද නොතීසි ලබාදී මෙම ඉල්ලීම තහවුරු කිරීමට පියවර ගන්නා බවයි.
















