ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජෙයි ෂා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කිරීම සඳහා පත් කර ඇති අතුරු කමිටුව ICC නීතිරීතිවලට පටහැනි බව සැලකෙන බැවින් එම කරුණ මෙම හමුවේදී ප්‍රමුඛව සාකච්ඡාවට ලක් වී ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම අතුරු කමිටුව පත් කරන ලදී. කෙසේ වෙතත්, ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කර ඇති බවයි. එම ලිපියේ අන්තර්ගතය නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැති වුවද, ක්‍රිකට් ආයතනය පාලනය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ වැදගත්කම ICC විසින් එහිදී අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තමන්ට දීර්ඝ කාලයක් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව මීට පෙර අපේක්ෂා කර තිබුණි.
















