ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ වාර්ෂික පොසොන් පූජෝත්සවය ජූනි 25 වන දින සිට ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.ජූනි 25 වන දින අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ විවෘත කිරීම සහ තුන්තිස්පැයේ පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කෙරෙන අතර, ජූනි 26 වන දින දවස පුරා පිරිත් දේශනාව පැවැත්වේ. ජූනි 27 වන දින හීල් දානමය පින්කම, ථූපවන්දනාව සහ රාත්‍රී 7.00ට බැරගම ප්‍රඥාරාම නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව පැවැත්වේ. ජූනි 28 වන දින ආනන්ද බෝධීන් වහන්සේ අභියස විශේෂ බෝධි පූජාවක් පැවැත්වෙන අතර, ජූනි 29 වන දින දවස පුරා සීල සමාදානය, භාවනා වැඩසටහන්, බුද්ධ පූජා සහ ප්‍රවීණ දේශකයන් වහන්සේලා රැසකගේ සහභාගීත්වයෙන් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
පොසොන් පොහෝ දින විහාරස්ථානයේ ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන්, ධම්මික ආටිගල සහ නිමල් වෙල්ගම යන මහත්වරුන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ. කුඩා සිතුල්පව්වේ ආලෝක පූජාව මාතලේ ඩයනා බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වේ.
මෙම ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බව විහාරාධිපති පූජ්‍ය ලේල්වල සමිත නාහිමියෝ පැවසූහ.
















