අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයකට හිමිවීම සම්බන්ධයෙන් වන විමර්ශන දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව හා අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොළඹ වාණිජ මහාධිකරණය, පාර්ලිමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු ආයතනවල මැදිහත්වීමෙන් ඉතා විනිවිදභාවයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක බවයි.
මාර්තු 23 වන දින සිද්ධිය අනාවරණය වීමත් සමඟ අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කර ඇති අතර, මාර්තු 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අප්‍රේල් 01 වන දින මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කර ඇති අතර, අප්‍රේල් 10 වන දින අභ්‍යන්තර කමිටු වාර්තාව භාණ්ඩාගාර ලේකම්වරයා වෙත භාර දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 17 වන දින අදාළ රාජ්‍ය නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණි. අනතුරුව මැයි 05 වන දින රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, මැයි 06 වන දින විගණකාධිපතිවරයා වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ වාර්තාව ලබා දෙන ලදී.
මෙය දින කිහිපයකින් නිම කළ හැකි ක්‍රියාවලියක් නොවන බවත්, වරදකරුවන් හඳුනා ගැනීම සහ මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර ආයතනවල සහයෝගය මත සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















