මහවැලි ‘එච්’ කලාපයේ හෙක්ටයාර 25,000ක ගොවි බිම් ප්‍රමාණයකට දියවර සපයන ඓතිහාසික කලා වැව ජලාශයේ දොරටු රහිත වාන් මගෙහි වසර 42ක තිස්සේ පවතින බරපතළ ජල කාන්දුවට ස්ථිර තාක්ෂණික විසඳුම් ලබා දීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පසුගියදා (16) නිල වශයෙන් ආරම්භ කෙරිණි. ලෝක බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 75කට අධික මූල්‍ය ආයෝජනයෙන්, ‘ඒකාබද්ධ ජල ඵලදායීතා සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ’ (IWWRMP) දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රධානත්වය ලබා දුන්නේය. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, කළුගල සහ කොන්ක්‍රීට් එකතු වන ස්ථානයෙන් පවතින මෙම ජල කාන්දුව නිසා වැව කැඩී යාමේ අවදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. පිටවාන කඩා දැමීමකින් තොරව ඉහළ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියේදී වැවේ ජල මට්ටම අඩු නොකරන බැවින් වත්මන් යල කන්නයේ වගා කටයුතුවලට කිසිදු බාධාවක් නොවන බවත්, කාන්දුව වැළැක්වීමට යොදන රසායනික ද්‍රව්‍ය ජලයට මුසු නොවන බැවින් පානීය හෝ කෘෂිකාර්මික ජල පරිභෝජනයට හානියක් නොවන බව ඉංජිනේරුවන් තහවුරු කර ඇති බැවින් ගොවි ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















