ඉරානය සහ ඇමරිකාව අතර පැවති යුදමය වාතාවරණය අවසන් වී හෝර්මුස් සන්ධිය නැවතත් විවෘත වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි පහළ යෑමක් වාර්තා වෙමින් පවතී. කෙසේ වෙතත්, මෙම වාසිදායක තත්ත්වය ලංකාවේ ඉන්ධන මිල කෙරෙහි තවමත් බලපා නොමැති වීම සම්බන්ධයෙන් සමගි බලශක්ති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති බලකාය දැඩි විවේචනයක් එල්ල කරයි.
එම බලකායේ මාධ්‍ය ප්‍රකාශක සහ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව විශේෂ කරුණු කිහිපයක් පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළ පරිදි, ගෝලීය වශයෙන් බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබියදී මෙරට ඉන්ධන මිල තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම සාධාරණ නොවන අතර, එහි වාසිය පාරිභෝගික ජනතාවට හිමිවිය යුතු බව වෘත්තීය සමිති අවධාරණය කරයි. යුද තත්ත්වයන් හේතුවෙන් මිල ඉහළ ගිය අවස්ථාවන්වලදී ක්ෂණිකව මිල වැඩි කිරීමට පියවර ගත්තද, දැන් මිල පහළ යන විට එම වාසිය ජනතාවට නොදීම ගැටලුකාරී බව පාලිත මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ ඉන්ධන මිල පහළ දැමීම ජනතාවට විශාල සහනයක් වනු ඇති බවත්, බලශක්ති අමාත්‍යාංශය සහ රජය මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බවත් වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙති.














