මෙවර පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව, උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ වැඩිම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කරයි.
විභාග ප්‍රතිඵල පිළිබඳ අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය. දිවයිනේ සෙසු පළාත්වලට සාපේක්ෂව දකුණු පළාතේ සිසුන් මෙවර විභාගයෙන් ඉතා ඉහළ දක්ෂතා පෙන්නුම් කර ඇති බවත්, එය එම පළාතේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමක් ලෙස හඳුනාගත හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර, යම් විෂයයක් හෝ සියලුම විෂයන් අසමත් වූ සිසුන් කිසිදු ලෙසකින් අධෛර්යයට පත් නොවන ලෙසත්, ඔවුන් බලාපොරොත්තු සුන් කර නොගෙන යළිත් අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි විභාගයට මුහුණ දීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සිසු දරුවන්ව දිරිමත් කරමින් සිහිපත් කළාය.
















