ලංකා සතොස විසින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ පවත්වන ලද “සතොසින් පිරි අවුරුදු සිරි” මෙගා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ දිනුම් ඇදීමේ ත්‍යාග ප්රදානෝත්සවය සහ නව “සතොස නිකිණි වාසනා” ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීම ඊයේ (19) සිදු කෙරිණි.
පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී දිවයින පුරා සතොස ශාඛා ජාලය හරහා ලැබුණු කූපන් පත් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකින් තෝරාගත් වාසනාවන්තයින්ට මෙහිදී ත්‍යාග පිරිනැමීම සිදු විය. එහිදී රුපියල් ලක්ෂ 49ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ආර්. තනුලි නතායා මහත්මියට හිමි වූ අතර, එය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සුරතින් ප්රදානය කෙරිණි.
මීට අමතරව රුපියල් ලක්ෂ පහක් වටිනා Yadea ඉලෙක්ට්‍රික් ස්කුටර්, ගෘහ භාණ්ඩ කට්ටල සහ ස්මාර්ට් ජංගම දුරකථන 100ක් ජයග්‍රාහකයින් වෙත පිරිනැමීම සිදු විය. සතොස ශාඛා මට්ටමින් පැවැත්වූ “සතොස අවුරුදු කුමරා සහ කුමරිය” තරඟාවලියේ ජයග්රාහකයින්ට ද මෙහිදී ඉලෙක්ට්‍රික් ස්කුටර් ප්රදානය කෙරිණි.
මීට සමගාමීව හඳුන්වා දුන් “සතොස නිකිණි වාසනා” වැඩසටහන යටතේ රුපියල් කෝටියක් වටිනා ගෘහ උපකරණ පාරිභෝගිකයින්ට පිරිනැමීමට නියමිතය. රුපියල් 2500කට වඩා වැඩි භාණ්ඩ මිලදී ගන්නා ඕනෑම පාරිභෝගිකයෙකුට මෙම තරඟයට සහභාගී විය හැකි අතර, ඒ හරහා රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් අවන් ඇතුළු වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමට අවස්ථාව උදාවේ.
මෙම අවස්ථාවට ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වසන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.















