ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ භාවිතය සඳහා නිපදවන ලද, ලොව මෙතෙක් බිහිවූ වඩාත්ම සුඛෝපභෝගී සහ ආරක්ෂිතම ගුවන් යානය වන නවතම ‘Air Force One’ යානය අධිකාරියට පත් කිරීම ඊයේ (19) ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුරේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම ‘Boeing 747-8’ වර්ගයේ සුපිරි ජම්බෝ ජෙට් යානය, 2025 වසරේදී කටාර් රාජ්‍යය විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ත්‍යාගයක් ලෙස ලබා දුන් එකකි. ඉන්පසුව, ඇමරිකානු හමුදාව විසින් මාස කිහිපයක් පුරා දැවැන්ත නවීකරණයකට ලක් කරමින් එය ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය බවට පත් කර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 400ක වටිනාකමකින් යුතු මෙම යානය, රතු, සුදු, නිල් සහ රන්වන් පැහැයන්ගෙන් යුතුව හැඩගැන්වීමට ජනාධිපති ට්‍රම්ප් උපදෙස් දී ඇත.
1990 වසරේ සිට ඇමරිකානු ජනාධිපතිවරුන් විසින් භාවිත කළ පැරණි ‘Air Force One’ යානය මේ වන විට නිල වශයෙන් සේවයෙන් ඉවත් කර තිබේ. ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් මහතා එම පැරණි යානයට ‘අවසාන ගමන’ ලෙස සමුදෙමින් එක්ස් (X) ගිණුම ඔස්සේ සටහනක් ද තබා තිබුණි.
















