යුක්තිය පසිඳලීමේ කාර්ය භාරය වඩාත් ඵලදායීව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා විනිසුරුවරුන්ට, නීතිඥවරුන්ට සහ අධිකරණයට පැමිණෙන ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමේ වැදගත්කම අවධාරණය කරමින්, දිවයින පුරා අධිකරණ සංකීර්ණවල පවතින අඩුපාඩු සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ යටතේ, යාපනය අධිකරණ සංකීර්ණයේ නීතිඥවරුන් අධිකරණ කටයුතු සිදු කිරීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බලා, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ යාපනය අධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා යාපනය අධිකරණ නීතිඥ සංගමයේ වැඩබලන සභාපති නීතිඥ තවපාලම් මහතා, එහි ලේකම් විශ්වලිංගම් මණිවන්නන් මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් සහභාගී වූහ. අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් දියුණු කිරීම හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
















