රුසියාවේ මොස්කව් නුවර VDNH ප්‍රදර්ශන සංකීර්ණයේදී ජූනි 10 සිට 14 දක්වා පැවැත්වුණු 6 වැනි ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක සංසදයේදී (ITF 2026), ශ්‍රී ලංකාව ‘Let’s Travel First-Degree Laureate Award’ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සංසදයට සහභාගී වූ ජාත්‍යන්තර රටවල් 12 අතුරින් ශ්‍රී ලංකාවට මෙම සුවිශේෂී ඇගයීම හිමිවීම ගෝලීය සංචාරක ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළ පිළිගැනීමක් ලෙස සැලකේ. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනී ගුණසේකර මහත්මිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් වූහ. රුසියාවේ ප්‍රමුඛතම සංචාරක ඉසව්වක් වන මෙම සංසදය සඳහා සංචාරකයින් 511,000කට අධික පිරිසක් සහ සංවිධාන 574ක් සහභාගී විය. ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය තුළ පැවති සාම්ප්‍රදායික නර්තනයන්, ලංකා තේ රසවිඳීමේ අවස්ථා සහ සංචාරක ආකර්ෂණ පෙන්වා දෙන දර්ශන හරහා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට හැකි විය. මෙම සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා රුසියාවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දිමිත්‍රි වක්රුකොව් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හමුවී දෙරට අතර සංචාරක සහයෝගීතාවය, ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ සංචාරක ආකර්ෂණ ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා කළේය. එසේම රුසියාවේ ප්‍රාදේශීය සංචාරක සංවිධායකයන් සමඟ සාර්ථක ව්‍යාපාරික (B2B) සාකච්ඡා පවත්වමින් රුසියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් විය.
















