ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පවතින මට්ටමේම ඉදිරියටත් පැවතුණහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබා දීමට හැකි වනු ඇති බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඉන්ධන අලෙවියෙන් ලාභ ඉපැයීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවයි. දැනටමත් රජය විසින් ඉන්ධන සඳහා සැලකිය යුතු සහනාධාරයක් ලබා දෙන බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් සහ සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක සහනාධාරයක් රජය විසින් ලබා දෙයි.
ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍ය භාණ්ඩ මිලදී ගැනීමක් මෙන් ක්ෂණිකව සිදු කළ නොහැකි බවත්, එය නිසි ටෙන්ඩර් පටිපාටිවලට අනුව කලින් එකඟ වූ මිල ගණන් යටතේ සිදුකරන බවත් අමාත්‍යවරයා පැහැදිලි කරයි. එම ටෙන්ඩර් කොන්දේසිවලට අනුව මිලදී ගන්නා ඉන්ධන තොග සඳහා අදාළ මිල ගෙවීමට රජයට සිදුවේ.
කෙසේ වෙතත්, රටේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමකට ගොඩනගා ඇති බැවින් ඉදිරියේදී ජනතාවට තවදුරටත් සහන සැලසීමට රජය අපේක්ෂා කරන බවත්, ඉන්ධන මිල හැකි ඉක්මනින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස තමන් ද ඉල්ලා ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















