ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින්, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන පරිදි, කලාපීය ආතතීන් උත්සන්න වෙමින් පවතින පසුබිමක ඉරානය ගත් මෙම තීරණය ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික ක්ෂේත්රවල දැඩි අවධානයට ලක්ව ඇත.
ලෝකයේ තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ගමන් කරන ප්‍රධානතම සමුද්‍රීය මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම, ගෝලීය ඉන්ධන මිල සහ සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව විචාරකයින් පෙන්වා දෙයි. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය තවදුරටත් තීව්ර වනු ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් වේ.
















