ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල වත්මන් මට්ටමේම ඉදිරියටත් පැවතුණහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන අලෙවියෙන් ලාභ ඉපැයීමේ කිසිදු අරමුණක් වත්මන් රජයට නොමැති බවයි.
වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විටත් රජය විසින් ජනතාව වෙනුවෙන් සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක පමණ විශාල සහනාධාරයක් ලබා දෙමින් පවතින බවයි. ඉන්ධන මිලදී ගැනීම සාමාන්‍ය කඩයකින් භාණ්ඩ මිලදී ගැනීමක් මෙන් ක්ෂණිකව කළ නොහැකි බවත්, එය නිසි ටෙන්ඩර් පටිපාටිවලට අනුව කලින් එකඟ වූ මිල ගණන් යටතේ ලබා ගැනීමට සිදුවන නිසා ලෝක වෙළෙඳපොළේ මිල අඩු වූ සැනින් මෙරට මිල අඩු කළ නොහැකි බවත් ඔහු මෙහිදී පැහැදිලි කළා.
කෙසේ වෙතත්, දැනට පවතින අඩු මිල මට්ටම ඉදිරියටත් පැවතුණහොත් ඉදිරි මාස දෙක තුන තුළ ජනතාවට සහනයක් දිය හැකි බවත්, රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගොඩනඟා ඇති නිසා මේ දේවල් කිරීමට හැකි වී තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා, හැකි ඉක්මනින් තෙල් මිල අඩු කරන ලෙස තමන් ද රජයෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
















