හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම ඔසවා තැබූ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග අද (20) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා. ඔහු ඊයේ (19) කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උලෙළේ 7 වැනි අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මෙරට නාමය රන් අකුරින් සනිටුහන් කිරීමට සමත් වුණා. ග්‍රෙනේඩාවේ ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස් සහ ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉන්දියාවේ නීරාජ් චොප්රා වැනි ලොව දැවැන්තයින් සමඟ තරග වැදුණු රුමේෂ්, මුල් වට කිහිපයේ 4 වැනි ස්ථානයේ පසුවුවත්, සිය 4 වැනි උත්සාහයේදී මීටර 88.68 ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් සමස්ත ඉසව්වේම පෙරමුණ ගත්තා.
දින 20ක් වැනි කෙටි කාලයක් තුළ ලෝකයේ ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලි කිහිපයකදීම රුමේෂ් දැක්වූ දස්කම් සැබවින්ම අදහාගත නොහැකි එකක්. ඔහු මොරොක්කෝවේ රබාට් ඩයමන්ඩ් ලීග් අදියරේදී 2 වැනි ස්ථානයත්, රෝම ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර 92.62 ක නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් 1 වැනි ස්ථානයත් දිනා ගත්තා. එමෙන්ම පසුගිය සතියේ පැවති ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ තරගාවලියේදී මීටර 86.57 ක දක්ෂතාවක් සමඟින් 1 වැනි ස්ථානය දිනූ රුමේෂ්, වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු එතෙක් මෙතෙක් ඉතිහාසයේ ළඟා වූ ඉහළම ස්ථානය සනිටුහන් කරමින්.
දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ රුමේෂ් තරංග ප්‍රකාශ කළේ, බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරග වටයට තමන් දැනටමත් සුදුසුකම් ලබා ඇති බවයි. තවද, මේ වසරේ සෑහෙන විශාල තරගාවලි ප්‍රමාණයක් තමා ඉදිරියේ ඇති බවත්, ඔහුගේ මීළඟ ප්‍රධානතම බලාපොරොත්තුව පොදුරාජ්‍ය මණ්ඩලීය (Commonwealth) ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගැනීම බවත් රුමේෂ් වැඩිදුරටත් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටියා.
















