මෑතකදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහනවල වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිතවලට දැඩි පීඩනයක් එල්ල විය. මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා රජය විසින් පසුගිය මැයි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයන සඳහා තාවකාලික 50%ක අධිභාරයක් (Surcharge) පැනවීමට පියවර ගනු ලැබීය.
අධිභාරය පැනවීම යනු වාහන සඳහා පවතින 30%ක රේගු ආනයන බද්ද මත පනවන ලද 50%ක අතිරේක බද්දකි. මෙය මාස තුනක තාවකාලික පියවරක් වන අතර, මැයි 15 දිනට පෙර ණයවර ලිපි (LC) විවෘත කරන ලද වාහන සඳහා මෙය අදාළ නොවේ.
මෙම පියවරේ අපේක්ෂිත අරමුණ වන්නේ වාහන ආනයනය කිරීම තහනම් කිරීමකට වඩා, විදේශ විනිමය වෙළඳපොළට එල්ල වන පීඩනය ලිහිල් කිරීම සඳහා කෙටි කාලීනව ආනයන කටයුතු ප්‍රමාද කරවා ගැනීමයි.
මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන පරිදි, මෙම පියවරෙන් පසු දෛනික වාහන ආනයන වියදම මීට පෙර පැවති ඩොලර් මිලියන 5.27ක සාමාන්‍යයේ සිට ඩොලර් මිලියන 3.9 දක්වා අඩු වී තිබේ. ඇතැම් අවස්ථාවල මෙම වියදම ඩොලර් මිලියන 6.8 දක්වා ඉහළ ගොස් තිබූ අතර, ජුනි මාසයේ මුල් දිනවලදී එය ඩොලර් මිලියන 4ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට රජයට හැකි වී ඇත.
වාහන මිල සම්බන්ධයෙන් රජය පවසන්නේ මෙය ස්ථිර බද්දක් නොවන අතර වෙළඳපොළේ වාහන මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමට සාධාරණ පදනමක් නොමැති බවයි. කෙසේ වෙතත්, වෙළඳපොළ පාර්ශ්වයන් අනතුරු අඟවන්නේ ආනයන සීමා සහ පිරිවැය ඉහළ යාම නිසා වාහන මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
මෙම අධිභාරය මෝටර් රථ, බස් රථ, වෑන් රථ සහ ජීප් රථ වැනි මගී ප්‍රවාහන වාහන සඳහා පමණක් අදාළ වන අතර යතුරුපැදි, ත්‍රිරෝද රථ, පාපැදි සහ වාණිජ වාහන සඳහා බලනොපායි.
















