ආණ්ඩුව පාර්ශවයෙන් මැතිවරණ කල් දැමීම තරම් තවත් බරපතළ පාපයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ මහජන නියෝජිතයන් නොමැති පාලනයකින් රටකට කිසිදු වැඩක් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවත්ය. ඉදිරියේදී මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත්, ඒ සඳහා අඩුම තරමින් තවත් මාස හතරක වැනි දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
මැතිවරණය සඳහා වෙන්කර තිබූ මුදල් වෙනත් කටයුතුවලට වියදම් කළ බවට ආණ්ඩුව කරන ප්‍රකාශ පුදුමසහගත බව පවසන හිටපු සභාපතිවරයා, දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වූ තමන් ඇතුළු නිලධාරීන් එදා එවැනි මූල්‍ය ක්‍රමවේදයන් ගැන අසා නොතිබූ බව ද උපහාසාත්මකව සඳහන් කළා. පවතින මැතිවරණ අර්බුදයට විසඳුම් ලෙස එම්.ඒ. සුමන්තිරන් සහ ෂානක්කියන් රාසමාණික්‍යම් යන මන්ත්‍රීවරුන් දැනටමත් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සිහිපත් කළ මහින්ද දේශප්‍රිය මහතා, කළ යුත්තේ එම යෝජනාව වහාම විශේෂ කාරක සභාවකට යොමු කර සම්මත කරගැනීම බවත්, මැතිවරණය පැවැත්වීම සඳහා තමන් ද යෝජනා කරන එකම ප්‍රායෝගික විසඳුම එය බවත් වැඩිදුරටත් කියා සිටියා.
















