විවිධ නම්වලින් ලියාපදිංචි කර ඇති සමාගම් හරහා විදෙස් රටවලට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් නීතිවිරෝධී ලෙස යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්තේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පසුගිය ජූනි 19 වැනිදා මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු විසින් විවිධ සමාගම් සහ බැංකු ගිණුම් රැසක් ලියාපදිංචි කර, අසත්‍ය ආනයන ලේඛන ඉදිරිපත් කරමින් රටින් විදේශ විනිමය පිටතට යවා ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලැබුණු මුදල් මෙම සමාගම්වල ගිණුම්වලට බැර කර පසුව ඒවා විදේශගත කර ඇති බවට විමර්ශකයන් සැක පළ කරයි. එසේම, රේගු බදු සහ බදු ගෙවීම් මග හැරීම සඳහා අසත්‍ය ආනයන ගනුදෙනු භාවිතා කර තිබේ.
2023 ජනවාරි 01 සිට 2025 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ මෙරට සමාගම් 89ක් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන්, කිසිදු ආනයනයක් සිදු නොකර ටෙලිග්‍රාෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමයට විශාල වශයෙන් ඇමරිකානු ඩොලර් විදේශයන්ට යවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. ශ්‍රී ලංකා රේගුව විසින් මෙම සිද්ධිය පොලිස්පතිවරයා වෙත වාර්තා කිරීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ විය.
නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල් යොදවා වත්කම් සහ දේපළ මිලදී ගැනීම මගින් මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කර ඇති බවට ද සැකකරුට චෝදනා එල්ල වී ඇත. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
















