ස්වභාවික ආපදා සහ මානුෂීය හදිසි අවස්ථාවන් සඳහා සූදානම් වීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමරිකානු සහ ශ්‍රී ලාංකික ආපදා කළමනාකරණ නිලධාරීන් සහභාගී වූ තුන් දින වැඩමුළුවක් පසුගිය ජූනි 16 සිට 18 දක්වා ගාල්ලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය, ඇමරිකානු පැසිෆික් ආඥාපති කාර්යාලයේ ආපදා කළමනාකරණ සහ මානුෂීය සහාය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානය (CFE-DM), මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය (Montana National Guard), මොන්ටානා ආපදා සහ හදිසි සේවා අංශය (MT DES) සහ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. මෙය 2025 වසරේදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ දිගුවක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙම වැඩමුළුවේ අවසාන අදියර ලෙස යථාර්ථවාදී හදිසි අවස්ථාවකදී සම්බන්ධීකරණය පරීක්ෂා කිරීම සඳහා ‘ටේබල් ටොප්’ (tabletop) අභ්‍යාසයක් පැවැත්විණි. එහිදී සහභාගිවන්නන්ට විපර්යාසයට ලක්වන ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම, සම්පත් සම්බන්ධීකරණය, මහජන සන්නිවේදනය කළමනාකරණය සහ පීඩනය හමුවේ තීරණාත්මක තීරණ ගැනීම යන අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. පසුගිය කාලයේ ඇතිවූ ‘ඩිට්වා’ (Cyclone Ditwah) සුළි කුණාටුව වැනි ආපදා වලින් ලැබූ අත්දැකීම් ද මෙම අභ්‍යාසයට ඇතුළත් කර තිබුණි.
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ ලැව්ගිනි, ගංවතුර සහ දරුණු ශීත කුණාටු වැනි ආපදා වලදී කටයුතු කිරීමේ පුළුල් අත්දැකීම් මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සතුය. ඔවුන් එම අත්දැකීම් සහ හොඳම භාවිතයන් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගනිමින්, ආපදාවක් සිදු වීමට පෙර සූදානම් වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් දියුණු කිරීමට සහාය වේ.
ශ්‍රී ලංකා යුද, නාවික, ගුවන් හමුදා, වෙරළාරක්ෂක බලකාය, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ ගණනාවක නියෝජිතයින් මෙම වැඩමුළුවට සහභාගී වූහ. මෙම වැඩමුළුව හරහා අනාගත හදිසි අවස්ථාවන් සඳහා අන්තර් ආයතනික සම්බන්ධීකරණය සහ සූදානම සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට හැකි වූ බව සංවිධායකයෝ පවසති.
















