සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මගපෙන්වීම යටතේ, රුපියල් බිලියන 1.95ක වියදමින් අති නවීන CT ස්කෑනර් යන්ත්‍ර 11ක් දිවයිනේ රෝහල් පද්ධතියට හඳුන්වා දී තිබේ. ආඝාතය, පිළිකා සහ හෘද රෝග වැනි බරපතල තත්ත්වයන් වේගවත්ව සහ නිවැරදිව හඳුනා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන ප්‍රධාන ස්ථාපනයන් පහත පරිදි වේ:
කළුතර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 200ක් වටිනා 128-slice CT ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 160ක් වටිනා ස්කෑනර් යන්ත්‍රයක් ස්ථාපනය කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව, කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල (කළුබෝවිල) සඳහා රුපියල් මිලියන 640ක් වටිනා ස්කෑනර් යන්ත්‍ර 4ක් දැනටමත් ස්ථාපනය වෙමින් පවතී.
කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ දඹුල්ල, නාවලපිටිය, හලාවත සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල් සඳහා රුපියල් මිලියන 950ක් වටිනා තවත් ස්කෑනර් යන්ත්‍ර ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
පැරණි 16-slice ස්කෑනර් යන්ත්‍ර වෙනුවට නවීන 64-slice සහ 128-slice පද්ධති භාවිතයට ගැනීම මගින් රෝග විනිශ්චය සඳහා ගතවන කාලය අවම කර, රෝගීන් සඳහා කඩිනම් ප්‍රතිකාර ලබා දීමට හැකියාව ලැබේ. මෙම වැඩසටහන මගින් නාගරික ප්‍රදේශවලට පමණක් සීමා නොවී, පළාත් මට්ටමින් උසස් සෞඛ්‍ය සේවා ලබා දීම රජයේ අපේක්ෂාවයි.
















