ඇමරිකානු ශාන්තිකර ගුවන් හමුදාවේ (PACAF) අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (21) දිවයිනට පැමිණියේය.
මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ආරක්ෂක හවුල්කාරිත්වයේ ශක්තිමත්භාවය පිළිබිඹු කරන බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ජෙනරාල් ෂ්නයිඩර් සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවලදී ගුවන් හා සමුද්‍රීය දැනුවත්භාවය, සයිබර් ආරක්ෂාව, ආපදා කළමනාකරණය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.
දෙරට අතර පවතින හමුදා හුවමාරු සහ උසස් මට්ටමේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. කලාපයේ සාමය, ආරක්ෂාව සහ සමෘද්ධිය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙස ඇමරිකා එක්සත් ජනපදය පිළිගන්නා බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
















