පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයකට අනුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජූනි 23 වන අඟහරුවාදා සිට ජූනි 26 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පවසයි.
සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා පාර්ලිමේන්තු කටයුතු සඳහා ද, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.
ජූනි 23 අඟහරුවාදා වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ගැසට් නිවේදන දෙකක් විවාදයට ගැනීමට නියමිතය. ප.ව. 5.00ට මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉදිරිපත් කරන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වන ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය (අහෝසි කිරීමේ) පනත් කෙටුම්පත’ දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කෙරේ.
ජූනි 24 බදාදා ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා විවාද කෙරේ. ජූනි 25 බ්‍රහස්පතින්දා මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම පිළිබඳ කල්තැබීමේ විවාදය රජයේ යෝජනාවක් ලෙස පැවැත්වේ.
ජූනි 26 සිකුරාදා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය. ඉන්පසුව පෙර දින ආරම්භ කළ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම පිළිබඳ කල්තැබීමේ විවාදය දිගටම පැවැත්වේ.
















