දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 700 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. ඇතැම් දිනවලදී රෝගීන් 1000 ඉක්මවූ සංඛ්‍යාවක් ද වාර්තා වී තිබේ.
ජූනි මස මුල් දින 20 තුළ පමණක් ඩෙංගු ආසාදිතයන් 12,196ක් වාර්තා වී ඇති අතර, වසරේ ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 46,037කි. මෙම වසරේ මේ දක්වා ඩෙංගු මරණ 28ක් වාර්තා වී ඇති අතර, ඉන් 6ක්ම අවුරුදු 15න් පහළ දරුවන් වේ. ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව 112 දක්වා ඉහළ ගොස් ඇත.
වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසන පරිදි, රෝහල්වල වාට්ටු මේ වන විටත් රෝගීන්ගෙන් පිරී පවතියි. පසුගිය සතියේ ක්‍රියාත්මක කළ මර්දන සතියේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කළ හැකි වුවද, මදුරු ගහනය පාලනය කරගැනීම සඳහා තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව ඔහු අවධාරණය කරයි.
















