දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාස හතක පමණ කාලයක් අත්හිටුවා තිබූ නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු පෙරේදා (20) උදෑසන යළි ආරම්භ කෙරිණි. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ නානුඔය ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු ධනුෂ්ක දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු විය.
අඹේවෙල සහ නානුඔය අතර පැරකුම්පුර ප්‍රදේශයේ නායගිය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පෞද්ගලික ආයතනයක මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, පොඩි මැණිකේ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයෙන් සිය ගමන් වාරය ආරම්භ කළේය. මෙතෙක් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය වූයේ අඹේවෙල සහ බදුල්ල අතර පමණි.
මේ වසර අවසන් වීමට පෙර මහනුවර සිට බදුල්ල දක්වාම උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු සඳහන් කරති. පේරාදෙණිය කළු පාලම ප්‍රතිසංස්කරණය කිරීම, උලපනේ සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය මාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම සහ කොටගල-තලවකැලේ අතර නායගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.
දුම්රිය ධාවනය යළි ඇරඹීමත් සමඟ නානුඔය දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව ස්ථානාධිපති චන්දිම හිරාන් ලියනගේ මහතා සඳහන් කළේය. මාස හතක් තිස්සේ දුම්රිය ස්ථානය වසා තැබීම හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දුන් සේවක මණ්ඩලය වෙනුවෙන් මෙම මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගත් රජයට සහ අදාළ පාර්ශ්වයන්ට නානුඔය රියැදුරු සංගමයේ සභාපති සමන්ත පුෂ්පකුමාර මහතා සිය ස්තුතිය පළ කළේය.
















