ශ්‍රී ලංකා රේගුවේ ‘Paperless Document Processing’ හෙවත් කඩදාසි රහිත ලේඛන සැකසුම් වැඩසටහන වේගවත් කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ව්‍යාපාරික ප්‍රජාව ප්‍රකාශ කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණි.
ආනයනකරුවන්, අපනයනකරුවන් සහ රේගු නිෂ්කාශන නියෝජිතයන් විසින් රේගු ලේඛන කඩදාසි භාවිතයෙන් තොරව විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි. රේගුව විසින් මාර්ගගතව (Online) ලේඛන භාර ගැනීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බැවින්, සාම්ප්‍රදායික මුද්‍රිත ලේඛන භාවිතය තවදුරටත් අවශ්‍ය නොවන බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය. මෙම ඩිජිටල් පරිවර්තනය මගින් රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ සේවා වඩාත් වෘත්තීය හා කාර්යක්ෂම මට්ටමකට ඔසවා තැබිය හැකි බව ඔවුන් පිළිගෙන ඇත. කඩදාසි රහිතව ලේඛන ඉදිරිපත් කිරීමේදී ‘LankaSign’ ආයතනයෙන් ලබාගන්නා ඩිජිටල් අත්සන් (Digital Signature) භාවිත කිරීම අනිවාර්ය වේ.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ සංවිධානය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය සමඟ එක්ව සිය සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.
















