ජීවිතයේ සෑම අත්දැකීමක්ම පරීක්ෂණයට ලක් කිරීම තුළින් ජීවිතයේ පැන නගින අභියෝග ජයග්‍රහණය කළ හැකි බව විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගී වෙමිනි. ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී මෙම සැසිය පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අවස්ථාව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට හිමිවිය.
මහාචාර්යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සිසුන් හුදෙක් එක් විෂය දැනුමකට පමණක් සීමා නොවී සෑම ක්ෂේත්‍රයකම අත්හදා බැලීම් කරමින් නව නිපැයුම් ක්ෂේත්‍රය ජය ගැනීමට පාසල් අවධියේ සිටම හුරුපුරුදු විය යුතු බවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය විසින් නායකත්වය, පෞරුෂ සංවර්ධනය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව සිසුවියන් දැනුවත් කළ අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ කරුණු පැහැදිලි කළේය.
මෙම අවස්ථාව සඳහා පාසල් විදුහල්පතිනියන්, ගුරුභවතුන්, මවුපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















