පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සකස් කළ ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන් එළිදැක්වීම අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ දෙකේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කරනු ලබන්නේ, පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් කළ විශේෂ චක්‍රලේඛයට අනුවයි.
ජාතික පෝෂණ මාසයේ තේමාව වන “කෙටි ආහාර ගැන නැවත සිතමු” යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන තුළින් දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග පාසල් ආපනශාලා තුළ අලෙවි කිරීම තහනම් කරනු ලබයි. ඒ වෙනුවට දේශීය සහ ස්වාභාවික ආහාර විකල්ප ලෙස හඳුන්වා දීමට පියවර ගෙන ඇත. පෝෂණ ගුණයෙන් තොර, අධික කැලරි සහිත අති-සැකසූ (Ultra-Processed) ආහාර දිනපතා පරිභෝජනය කිරීම හේතුවෙන් දරුවන් දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි මාරාන්තික රෝගවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින බව වෛද්‍යවරු අනතුරු අඟවති.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයට අනුව 13-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 12%ක් අධි බරින් සහ 3%ක් ස්ථුලතාවයෙන් පෙළෙන බව වාර්තා වේ. එම සමීක්ෂණයට අනුව දරුවන්ගෙන් 17.4%ක් දිනපතා කාබනීකෘත පැණි බීම පානය කරන අතර, 28.5%ක් අධික ලුණු සහ තෙල් සහිත ආහාරවලටත්, 41%ක් දිනපතා සීනි සහිත අහිතකර කෑම වර්ගවලටත් ඇබ්බැහි වී සිටින බව අනාවරණය වී ඇත.
















