දශක ගණනාවක් පුරා ඩීසල් බලාගාර මතම රඳා පැවති යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත්වාසීන්ගේ විදුලිබල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින් නව හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කෙරේ. අමෙරිකානු ඩොලර් මිලියන 11කට ආසන්න ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ඩීසල් ප්‍රවාහනයේදී මුහුණදීමට සිදුවන අධික පිරිවැය සහ ප්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීමට මහඟු පිටුවහලක් වනු ඇත. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ, මෙම ව්‍යාපෘතිය හරහා දූපත්වාසීන්ට පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු වන බවයි.
මෙගාවොට් 1.7ක සූර්ය විදුලි බලාගාරයක්, කිලෝවොට් 750ක සුළං බලාගාරයක් සහ මෙගාවොට් පැය 2.4ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත මෙම නවීන පද්ධතිය, ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොවූ ස්වාධීන හයිබ්‍රිඩ් පද්ධතියකි. උසස් බලශක්ති කළමනාකරණ තාක්ෂණයෙන් සමන්විත මෙම පද්ධතිය මගින් දූපත්වල බලශක්ති අවශ්‍යතා කාර්යක්ෂමව කළමනාකරණය කරනු ඇත. දූපත්වල ජීවත් වන ජනතාවගේ එදිනෙදා ජීවන තත්ත්වය නංවාලීම සඳහා මෙය විශාල පිටුබලයක් වන අතර, ප්‍රදේශයේ ධීවර කර්මාන්තය ඇතුළු සියලුම ආර්ථික කටයුතු මෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙය ඉවහල් වනු ඇත.
පුනර්ජනනීය බලශක්තිය දෙසට රට යොමු වෙමින් පවතින මෙම අවස්ථාවේදී, දුෂ්කර දූපත් කලාප වෙත මෙවැනි නවීන තාක්ෂණය රැගෙන ඒම තුළින් කලාපීය සංවර්ධනයට නව අරුතක් එක් කෙරේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහයෝගිතාවේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් වන මෙම ව්‍යාපෘතිය, දූපත්වාසීන්ගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් අනාගත ශක්තිමත් බලශක්ති සුරක්ෂිතතාවකට මග පාදයි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, යටිතල පහසුකම් සංවර්ධනය තුළින් මෙවැනි ප්‍රජාවන් සවිබල ගැන්වීම රජයේ ප්රමුඛ ඉලක්කයක් බවයි.
















