ලෝක දුම්කොළ විරෝධී දිනයට සමගාමීව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලාංකිකයින් දිනකට රුපියල් මිලියන 520ක මුදලක් දුම්වැටි සඳහා වියදම් කරන බවයි. 2019 වසරේදී දුම්පානය හේතුවෙන් රටට සිදුවූ සෞඛ්‍ය හා ආර්ථික හානිය රුපියල් බිලියන 214ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, වාර්ෂිකව අකල් මරණ 20,000ක් සිදුවීමට දුම්කොළ භාවිතය සෘජුවම බලපායි. 2020 ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයින් මිලියන 3.2ක් දිනපතා දුම්කොළ භාවිතයට ඇබ්බැහි වී සිටිති.
බරපතලම කාරණය වන්නේ, නිසි බදු එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් 2024 වසරේදී පමණක් රජයට ලැබිය යුතු රුපියල් බිලියන 9.4ක බදු ආදායමක් අහිමි වී ඇති අතර, එම මුදල දුම්කොළ නිෂ්පාදන සමාගම්වල ලාභය ලෙස බැර වී තිබීමයි. වර්තමානයේ දුම්වැටි සඳහා පවතින බදු ප්‍රතිශතය 67%ත් 69%ත් අතර අගයක පවතින අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන 75%ක අගයට වඩා බෙහෙවින් අඩුය. ආර්ථික අර්බුදයෙන් පසු බොහෝ භාණ්ඩවල බදු දෙගුණයකින් වැඩි වුවද, දුම්වැටි සඳහා වන බදු අඩු වී තිබීම විශේෂත්වයකි. පසුගිය දශකයක කාලය තුළ දුම්වැටි අලෙවිය 54%කින් පහත වැටී ඇතත්, සිලෝන් ටුබැකෝ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය 179%කින් ඉහළ ගොස් ඇත. පරිසරයට සිදුවන හානිය අතිමහත්ය; වාර්ෂිකව නිසි ලෙස බැහැර නොකරන ප්ලාස්ටික් දුම්වැටි පෙරහන් බිලියන 1.8ක් හරහා විෂ රසායනික ද්‍රව්‍ය 7000ක් පරිසර පද්ධතියට මුදා හැරේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා 2010 වසරෙන් පසුව උපන් පිරිස් වෙත දුම්වැටි විකිණීම තහනම් කිරීම සහ ක්‍රමයෙන් දුම්වැටි අලෙවිය මුලිනුපුටා දැමීමේ නව රාමුවක් යෝජනා වී තිබේ.
















