ශ්‍රී ලංකාව තුළ දුම්කොළ භාවිතය හේතුවෙන් උද්ගතව ඇති සෞඛ්‍ය සහ පාරිසරික අර්බුදය ඉතා ඉහළ මට්ටමක පවතින බව නවතම සංඛ්‍යාලේඛන මගින් තහවුරු වේ. 2020 ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ පුද්ගලයින් මිලියන 3.2ක් දිනපතා දුම්කොළ භාවිතයට ඇබ්බැහි වී සිටින අතර, මෙම තත්ත්වය වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් 20,000කගේ ජීවිත අකාලයේ බිලිගැනීමට සෘජුවම බලපායි.
පාරිසරික වශයෙන් ගත් කල, දුම්වැටි භාවිතය තවත් බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබේ. වාර්ෂිකව නිසි ලෙස බැහැර නොකරන ප්ලාස්ටික් දුම්වැටි Filters බිලියන 1.8ක් හරහා විෂ රසායනික ද්‍රව්‍ය 7000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට එක් වේ. මෙය ජල මූලාශ්‍ර, පස සහ අවසානයේ ආහාර දාමය වෙත විෂ මුසු කරන ක්‍රියාවලියක් බව පරිසරවේදීන් අනතුරු අඟවයි. පුද්ගල සෞඛ්‍යයට පමණක් නොව, සමස්ත පරිසර පද්ධතියටම තර්ජනයක් වී ඇති මෙම දුම්වැටි භාවිතය පාලනය කිරීම සඳහා කඩිනම් සමාජීය සහ නීතිමය මැදිහත්වීම් අත්‍යවශ්‍ය වී තිබේ.
















