ශ්‍රී ලංකාවේ වත්මන් දුම්වැටි බදු ප්‍රතිපත්තිය තුළ පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් 2024 වසරේදී පමණක් රජයට ලැබිය යුතු රුපියල් කෝටි 940ක බදු ආදායමක් අහිමි වී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි. රටේ පවතින ආර්ථික අර්බුදයෙන් පසු බොහෝ භාණ්ඩ සහ සේවා සඳහා පනවා ඇති වැට් (VAT) බදු ඇතුළු බදු ප්‍රතිශතයන් දෙගුණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබියදී, දුම්වැටි සඳහා වන බදු බහුතරයක් අවස්ථාවලදී අඩු වී තිබීම දැඩි විවේචනයට ලක්ව ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි සඳහා නිර්දේශ කර ඇති අවම බදු මට්ටම 75%ක් වුවද, ශ්‍රී ලංකාවේ වත්මන් බදු ප්‍රතිශතය පවතින්නේ 67%ත් 69%ත් අතර අගයකයි. මෙම බදු මට්ටම ප්‍රමාණවත් පරිදි ඉහළ නොදැමීම හේතුවෙන්, දුම්වැටි අලෙවිය පසුගිය දශකය තුළ 54%කින් පහත වැටී තිබුණ ද, සිලෝන් ටුබැකෝ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය 179%කින් ඉහළ යාමට හේතු වී තිබේ. රජයට ලැබිය යුතු බදු ආදායම මෙලෙස පෞද්ගලික සමාගම්වල ලාභාංශ ලෙස ගලා යාම, ජාතික ආර්ථිකයට සහ මහජන සෞඛ්‍යයට සිදුවන බරපතල අසාධාරණයකි.
















