ඩිස්නි සහ පික්සාර් සමාගම්වල සුප්‍රකට සජීවීකරණ සිනමා මාලාවේ නවතම දිගහැරුම වන ‘ටෝයි ස්ටෝරි 5’ (Toy Story 5), ලෝක සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 2026 වසරේ ඉහළම සමාරම්භක ආදායම් වාර්තාව තමන් සතු කරගෙන තිබේ. ජූනි 19 වැනිදා තිරගත කිරීම් ආරම්භ කළ මෙම සිනමාපටය, තිරගත වූ පළමු සති අන්තයේදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක සහ ලොව පුරා ඩොලර් මිලියන 312ක සමස්ත ආදායමක් උපයා ගැනීමට සමත්විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ 2019 වසරේ තිරගත වූ ‘ටෝයි ස්ටෝරි 4’ සිනමාපටයේ මෙන්ම, මීට පෙර පැවති සජීවීකරණ චිත්‍රපටවල වාර්තා රැසක් ද අභිබවා යාමට එය සමත්ව තිබේ.
චිත්‍රපටයේ සාර්ථකත්වය පූර්‌ව දර්ශනවල සිටම විද්‍යමාන වූ අතර, බ්‍රහස්පතින්දා පූර්‌ව දර්ශන මගින් පමණක් ඩොලර් මිලියන 17.5ක දැවැන්ත ආදායමක් වාර්‌තා කළේය. සිකුරාදා දිනයේ ලැබුණු ඩොලර් මිලියන 71ක ආදායම, සර්‌වකාලීන ඉහළම සජීවීකරණ ආරම්භක දින ආදායම් වාර්‌තාවට හිමිකම් කියන ‘ඉන්ක්‍රෙඩිබල්ස් 2′ (Incredibles 2) චිත්‍රපටයට ඉතා ආසන්න අගයක් වේ. මිලියන 250ක නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය වූ මෙම සිනමාපටය, මීට පෙර 2026 වසරේ වාර්‌තාව දරා සිටි ‘ද සුපර් මාරියෝ ගැලැක්සි මූවී’ (The Super Mario Galaxy Movie) ආදායම ද පසුපසට ඇද දමමින්, මේ වන විටත් ලොව පුරා බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ ඉහළම ස්ථානය අත්පත් කරගෙන ඇත.
මෙම අතිවිශාල ප්‍රේක්ෂක ආකර්‌ෂණය සඳහා ඩිස්නි සමාගම අනුගමනය කළ නවීන සමාජ මාධ්‍ය උපාය මාර්ග ඉවහල් වී ඇති අතර, විශේෂයෙන්ම සුප්‍රකට ගායන තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ දායකත්වය සහ ඇයගේ ගීත ඇසුරින් නිර්මාණය වූ සමාජ මාධ්‍ය ව්‍යාපාර හරහා මිලියන 530කට අධික අතිරේක ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වීමට චිත්‍රපටයට හැකි විය. ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තර සිනමාශාලාවල ද අංක එකේ ස්ථානය දිනාගනිමින්, ‘ටෝයි ස්ටෝරි 5’ තවදුරටත් ලෝක සිනමා ප්‍රේක්ෂකයින් ආකර්‌ෂණය කරමින් වේගයෙන් ඉදිරියට පැමිණෙමින් තිබේ.
















