ඉන්දීය සාගර කලාපයේ මුහුදු ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අතිනවීන ‘ෆ්ලීට් බ්‍රෝඩ්බෑන්ඩ්’ (Fleet Broadband) චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් පරිත්‍යාග කර තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 4ක් (රුපියල් බිලියන 1.2කට අධික) වටිනා මෙම පද්ධතිය කොළඹ වරායේදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් මහතා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරනු ලැබීය.
ලෝක ප්‍රකට ‘කොබ්හැම්’ සහ ‘ඉන්මාර්සැට්’ සමාගම් නිෂ්පාදනය කළ මෙම පද්ධතිය නාවික හමුදාවේ මුර සංචාරක නෞකා බලඇණිය තුළ ස්ථාපිත කිරීමට නියමිතය. මෙමඟින් ගැඹුරු මුහුදේ සිට නෞකාවන්, ගුවන් යානා සහ නාවික හමුදා මූලස්ථානය අතර අතිශය ආරක්ෂිත සජීවී දත්ත හා හඬ සන්නිවේදනයක් සිදුවේ. මින් සාගර නිරීක්ෂණ ශක්තිමත් වන අතර මුහුදු කොල්ලකෑම්, නීතිවිරෝධී ජාවාරම් මර්දනය සහ ජාත්‍යන්තර මුහුදු මාර්ග ආරක්ෂා කිරීම වඩාත් පහසු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ නාවික හමුදාපති කාංචන බනගොඩ යන මහත්වරුන් ප්‍රකාශ කර සිටියහ.
















