ඉන්දු-පැසිෆික් කලාපය කේන්ද්‍ර කරගනිමින් ලෝක ආරක්ෂක ක්ෂේත්‍රයේ වඩාත්ම තීරණාත්මක සහ සංවේදී දිය යට සාගර කලාපයක් චීනය විසින් රහසිගතව නිර්මාණය කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නාවික ආරක්ෂක විශ්ලේෂකයන්ගේ සවිස්තරාත්මක වාර්තා සහ නවතම චන්ද්‍රිකා දත්ත පදනම් කරගනිමින් බ්‍රිතාන්‍යයේ “ටයිම්ස්” පුවත් සේවය පෙන්වා දෙන්නේ, චීනය විසින් පැසිෆික්, ඉන්දීය සහ ආක්ටික් යන ප්‍රධාන සාගර තුනම ආවරණය වන පරිදි මහා පරිමාණ දිය යට සිතියම්ගත කිරීමේ මෙහෙයුම් සැලකිය යුතු ලෙස වේගවත් කර ඇති බවයි. විශේෂයෙන්ම භූ-දේශපාලනික වශයෙන් නිරන්තරයෙන් උණුසුම් වන තායිවානය සහ පිලිපීනය වැනි රටවල් අවට ඇති මුහුදු කලාපයන් කෙරෙහි චීනය සිය දැඩි අවධානය යොමු කරමින් මෙම රහසිගත සිතියම්ගත කිරීම් සිදුකරන බව ද එම වාර්තාවල සඳහන් වෙනවා.
චීන රජය නිල වශයෙන් නිවේදනය කරන්නේ මෙම සාගර මෙහෙයුම් සිවිල් දේශගුණික පර්යේෂණ සහ සාමාන්‍ය සාගර විද්‍යාත්මක කටයුතු සඳහා පමණක් ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වුවත්, ජාත්‍යන්තර නාවික විශේෂඥයන් සහ ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ චීනයේ සැබෑ අරමුණ එය නොවන බවත්, මෙලෙස අතිශය සූක්ෂ්ම ලෙස එක්රැස් කරන සාගර දත්ත ඉදිරි කාලයේදී දරුණු දිය යට සබ්මැරීන් යුද්ධයක් (Undersea Submarine Warfare) සඳහා සෘජුවම උපයෝගී කරගනු ඇති බවත්ය.
මුහුදු පතුල සිතියම්ගත කිරීමට අමතරව, චීනය විසින් මේ වන විටත් ඉන්දු-පැසිෆික් මුහුදු පතුලේ විශේෂිත දිය යට සංවේදක පද්ධති (Underwater Sensors), ජලයේ පාවෙන බෝයා (Floating Buoys) සහ අනෙකුත් විදේශීය නෞකා මෙන්ම සබ්මැරීනවල සන්නිවේදන මෙවලම්වලට හොරෙන් සවන්දීමේ අතිනවීන උපකරණ (Eavesdropping Devices) වැනි දෑ ද ස්ථාපිත කර ඇතැයි තොරතුරු වාර්තා වන බව ද “ටයිම්ස්” පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි. නාවික විශේෂඥයන් පෙන්වා දෙන පරිදි, මෙම දැවැන්ත දිය යට නිරීක්ෂණ ජාලය නිර්මාණය කිරීමේ ප්‍රධානතම උපායමාර්ගික අරමුණ වී ඇත්තේ අමෙරිකාව සහ එහි මිත්‍ර රටවල් සතු සබ්මැරීන සතු රහසිගතභාවය (Stealth capabilities) සම්පූර්ණයෙන් අවහිර කිරීම සහ සිය නාවික හමුදාවට අවශ්‍ය තීරණාත්මක දත්ත ලබාගැනීමයි.
















