දිගු කලක් තිස්සේ දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි දෝෂදර්ශනයට හා විවේචනයට ලක්ව ඇති වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ එම පනත වෙනුවට රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීමට සහ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම නිදහස උපරිමයෙන් සුරැකීමට සමත් නව නීතිමය රාමුවක් මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන බවයි. රජයේ ඉදිරි ආරක්ෂක උපායමාර්ග සහ නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වර්තමාන සමාජීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කෙරෙන මෙම නව පනත හරහා ප්‍රධාන වශයෙන්ම සංවිධානාත්මක අපරාධ වැළැක්වීම අරමුණු කරන බවයි. පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් වළක්වා, රටේ සාමාන්‍ය වැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම රජයේ මූලිකම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
















