“එහෙන් කෙසෙල් කඳ දැම්මම මෙහෙන් ඇඳුම් එළියට එන ෆැක්ටරියක් හදනවා” යනුවෙන් වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිදුකළ ප්‍රකාශය තමන් උපේක්ෂාවෙන් යුතුව බලා සිටි බව හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. වත්මන් රජය අලුතින් කරන්න යනවා යැයි පවසන මෙම ව්‍යාපෘතිය, තමන් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2019 වසරේදීම සාර්ථකව නිමකර තිබූ එකක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය (SLITA) සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශය එක්ව, ඉවතලන කෙසෙල් කඳේ තන්තු මඟින් රෙදිපිළි නිපදවීමේ නවෝත්පාදන වැඩසටහන ක්‍රියාත්මක කළේ තමන්ගේ කාලයේ බව ඔහු අවධාරණය කරනවා.
එමෙන්ම, එලෙස නිපදවූ ඇඳුම් එළිදැක්වීම සහ ළදරු ඇඳුම් සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක තත්ත්ව සහතික ලබාදෙමින් ඒවා වෙළෙඳපොළට යොමු කළේද තම අමාත්‍ය ධුර සමයේදී බව වීරවංශ මහතා සිහිපත් කරනවා. තමන් එදා මැදිහත් වී ආරම්භ කළ මෙම නවෝත්පාදක ක්‍රියාදාමය නිසා මේ වන විටත් ලංකාවේ පෞද්ගලික ආයතන සහ නවෝත්පාදකයන් රැසක් කෙසෙල් තන්තුවලින් ඇඟලුම් නිපදවා සාර්ථකව විදේශ රටවලට අපනයනය කරමින් සිටින බවද ඔහු පවසනවා. ඒ අනුව, තමන් එදා පටන් ගෙන ඉහළටම ඔසවා තැබූ ව්‍යාපෘතියක්, අද තමන් අලුතින්ම කරන බව කියමින් සෑහීමකට පත්වීමට උත්සාහ කරන වත්මන් බලධාරීන්ට අනුකම්පාව පළ කරන බවත්, දැනටමත් කෙසෙල් තන්තු ඇඟලුම් අපනයනය කරන සියලුම දේශීය නවෝත්පාදකයින්ට තමන්ගේ සුභ පැතුම් එක් කරන බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
















