රජය විසින් ‘මෙට්‍රෝ බස්’ නමින් බස් රථ ගෙන්වා ඒවා සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ලෙස ධාවනය කරවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කරනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, මෙම මෙට්‍රෝ බස් රථ සඳහා කිසිදු නීතිමය රාමුවක් නොමැති අතර, ආසන මට්ටමට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු වුවද මේවායේ මගීන් හිටගෙන පවා ප්‍රවාහනය කරන බවයි. මෙට්‍රෝ නමින් වෙනම සමාගමක් නොමැති බවත්, මෙය මහා භාණ්ඩාගාරය 60%ක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) 40%ක් වශයෙන් කොටස් අයිතිය තබාගෙන සිදුකරන ‘අක්කා පෙන්වා නංගි දීමේ’ තවත් එක් ලංගම වැඩපිළිවෙළක් පමණක් බවත් පෙන්වා දුන් ඔහු, මෙම බස් රථවල දිනක සැබෑ ආදායම ප්‍රසිද්ධ කරන ලෙසට ද රජයට අභියෝග කර සිටිනවා.
මීට අමතරව මෙම බස් රථවල පවතින තාක්ෂණික ගැටලු ද පෙන්වා දුන් ගැමුණු විජේරත්න මහතා, දැනට ධාවනය වන කිසිදු පෞද්ගලික බස් රථයක් ස්වයංක්‍රීය (Auto Gear) පද්ධති සහිතව ධාවනය නොවන බව ප්‍රකාශ කළා. ඊට හේතුව ඔටෝ ගියර් බස් රථ ධාවනයේදී විශාල වශයෙන් ඩීසල් දහනය වීම වන අතර, මෙට්‍රෝ බස් සඳහා එවැනි ස්වයංක්‍රීය ගියර් පද්ධති භාවිත කිරීමෙන් සිදුවන අධික ඉන්ධන නාස්තිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් (Feasibility Study) සිදුකළේ කවුරුන්දැයි ඔහු ප්‍රශ්න කරනවා. මෙවැනි තත්ත්වයක් තුළ තවත් මෙට්‍රෝ බස් රථ 100ක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවත්, දැනටමත් දැඩි දුෂ්කරතා මැද පවත්වාගෙන යන පෞද්ගලික බස් කර්මාන්තය මේ හරහා තවදුරටත් දැඩි පාඩු ලබන කඩා වැටීමේ තත්ත්වයකට පත්වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
















