සිය ධූර කාලය අවසන් කරන දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මහලේකම් ගොලම් සර්වර් (Golam Sarwar) මහතා අද (ජූනි 22) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවුණා. මෙම සමුගැනීමේ හමුවේදී කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මහලේකම්වරයා ඉටුකළ සේවය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්වුණා. මෙම සාකච්ඡාවේදී හෙට (ජූනි 23) කොළඹදී පැවැත්වීමට නියමිත “ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුව” සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වූ අතර, කලාපය තුළ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමට කලාපීය මට්ටමින් ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අගමැතිනිය මෙහිදී අවධාරණය කළා.
මීට අමතරව, සාර්ක් ලේකම් කාර්යාලය හරහා සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ ළමා පෝෂණය නංවාලීම සඳහා ක්‍රියාත්මක ප්‍රධාන කලාපීය වැඩසටහන් පිළිබඳව මහලේකම්වරයා මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කර තිබෙනවා. කලාපීය සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීම සඳහා සාර්ක් සංවිධානය සහ අනෙකුත් කලාපීය සංවිධාන අතර සමීප සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, කලාපීය සාමය සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය වෙනුවෙන් සාර්ක් සංවිධානය ගන්නා උත්සාහයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට යළි සහතික වුණා.
















