ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් රූපවාහිනී විකාශන පද්ධතියක් (Digital TV) ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් ජපන් යෙන් මිලියන 400ක අතිරේක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) අතර පසුගිය ජුනි 18 වැනිදා පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකින් අනතුරුවයි මෙම මූල්‍ය ආධාරය ප්‍රකාශයට පත් කෙරුණේ. මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ නිල ඩිජිටල් රූපවාහිනී සේවාව 2029 වසරේදී නිල වශයෙන් දියත් කිරීමට ද සැලසුම් ස්ථිර කර ගෙන තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ව්‍යාපෘතිය නිම වූ පසු නව ඩිජිටල් රූපවාහිනී සේවාව පිළිබඳව රට පුරා සිටින පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ දැවැන්ත ප්‍රචාරක වැඩසටහනක් සඳහා මෙම අතිරේක ජයිකා ආධාර මුදල සම්පූර්ණයෙන්ම වෙන් කරන බවයි. මීට අමතරව, දැනට ඉතිරිව ඇති ඉදිකිරීම් සහ තාක්ෂණික කටයුතු කිසිදු ප්‍රමදයකින් තොරව නිම කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා පරිපාලන පියවර ද මෙහිදී සමාලෝචනය කෙරුණා. මෙම සමස්ත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා වෙනම තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියක් ද (Technical Cooperation Project) ක්‍රියාත්මක වන අතර, මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ඩිජිටල් ටීවී ව්‍යාපෘතිය සහ මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.
















