පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය (Heatwave) හේතුවෙන් ප්‍රංශයේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මියගිය අය අතර උණුසුම් මෝටර් රථයක සිරවී සිටි කුඩා දරුවන් දෙදෙනෙකු ද වේ.
ප්‍රංශයේ කාපෙන්ට්‍රාස් ප්‍රදේශයේදී වයස අවුරුදු 2 සහ 4 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු මෝටර් රථයක සිරවී සිටියදී සොයාගෙන ඇති අතර, ඔවුන් බේරා ගැනීමට නොහැකි වී ඇත. මීට අමතරව, බෝඩෝ කලාපයෙන් වයෝවෘද්ධ පුද්ගලයින් තිදෙනෙකුගේ මරණ ද වාර්තා වේ. උණුසුම නිසා සිසිල් වීමට උත්සාහ කළ පුද්ගලයින් 13 දෙනෙකු දියේ ගිලී මියගොස් ඇත. බෝඩෝ සහ පොයිටියර්ස් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ඉක්මවා යමින් වාර්තාගත මට්ටමකට ළඟා වී තිබේ.
‘ඔමේගා බ්ලොක්’ (Omega block) ලෙස හඳුන්වන මෙම උණුසුම් වායු ස්කන්ධය සහරා කාන්තාරයේ සිට හමා එන අතර, මේ හේතුවෙන් ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇත. ඉතාලිය නගර 12ක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර, ටියුරින් නගරයේ විදුලි බල පද්ධතියට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.
බෙල්ජියමේ සත්ත්ව සුබසාධන මධ්‍යස්ථානයක් සඳහන් කරන්නේ, උණුසුම දරාගත නොහැකිව වහලවල්වල කූඩු සාදා සිටින කුරුල්ලන් කූඩුවලින් බිමට පැනීමේ අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වාර්තාවකට අනුව, යුරෝපය ගෝලීය සාමාන්‍යයට වඩා දෙගුණයක වේගයකින් උණුසුම් වෙමින් පවතින බව සඳහන් වේ.
















